Wednesday, January 15, 2014

හැම දෙනාටමයි මේ ආරාධනාව....

අලුත් අවුරුද්දෙ අලුත් වැඩක් පටන් ගත්ත.ඒකෙ නම හදගැස්ම.http://hadagesma.wordpress.com/තමයි ඇඩ්‍රස් එක.

මෙතුවක් කල් ලකීගේ නවාතැනට ආපු නොආපු හිතවත් හැමෝටම ආරාධනා කරනව මගෙ අලුත් බ්ලෝග් එකට.අච්චාරුවක් වගේ වුණ ලකීගේ නවාතැන වහල හදගැස්මට ඉඩක් දුන්න.ඉතිං ලකීගේ නවාතැනදි වගේම සහයක් හදගැස්මෙදිත් සියලු දෙනාගෙන් බලාපොරොත්තු වෙනවා.

Sunday, May 12, 2013

ආදරයේ උල්පත වූ අම්මා !!!






සාමාන්‍ය නිර්වචනය අනුව අම්මා යනුවෙන් හඳුන්වන්නේ දරුවෙකු මෙළොවට බිහි කර හදාවඩා ගන්නා තැනැත්තියයි.නමුත් මව පිළිබඳ සමාජයීය, සංස්කෘතික හා ආගමික වශයෙන් පවතින නිර්වචනයන්හි හා භූමිකාවන්හි සංකීර්ණභාවය හා විවිධත්වය නිසා මව යන්නට විශ්වයම පිළිගත් නිර්වචනයක් ලබාදීම අභියෝගාත්මක වෙයි.






අම්මා යනු සැපවින්ම ආදරයේ උල්පතයි.දසමසක් අපව කුසේ හොවාගෙන කොපමණ දුකක් විඳින්න ඇතිද?අම්මාවරුන් ඒ සියලු දුක් කම් කටොළු සියල්ලක්ම විඳදරා ගත්තේ අපි වෙනුවෙන්මයි.ගෙදරින් මුලින්ම අවදිවන අම්මා දවස ආරම්භ කරන්නේ ගමට ඉර උදාවන්නටත් පෙරයි.එසේම දවසේ සියළු වැඩ අවසන්කර අන්තිමට නින්දට යන්නේත් අම්මා ම තමයි.එසේ අපව උස්මහත් කර සමාජයට යහපත් මිනිසෙකු කරන්නට වෙර දරනා අම්මාවරු ගැන අසීමිත ගීත සංඛ්‍යාවක් ලියැවී ඇත්තේ ඔවුට උපහාර පිණිසමයි.





අම්මාවරු විඳින්නා වූ දුක් කන්දරාව මෙතැකැයි කියා නිම කළ හැකිද?එහෙත් කරදඬු උස් වූ සමහර දරුවන් දෙමාපියන්ට සළකන්නේ නැතත් අම්මාවරු නිතරම ප්‍රාර්ථනා කරන්නෙ දරුවන්ගේ යහපතයි.ඔවුන්ගේ දියුණුවයි.මදකට සිතා බලන්න,අම්මා යනු සැබැවින්ම ගෙදර බුදුන් නොවේද?ඉතිං එසේනම් දරුවන් අම්මලාට සැලකිය යුත්තේ කෙසේද?





සියල්ලක්ම මුදලට සීමා වූ වර්ථමාන සමාජ ක්‍රමය තුළ සමහර අම්මාවරුනගේ ක්‍රියාකලාපයද ඇත්තෙන්ම ප්‍රශ්ණකාරීය.ඒ සමහර පිරිසක් විසින් දරුවන් මහ මග දමා යාම හෝ මරා දැමීම සිදු කරමින් අම්මා යන වචවයටද අපහාස කරමින් සීටීමයි.











ඒ කෙසේ වුවත් සෑබෑම මව්වරුනගේ ගුණ සැමරීමට එක් දිනක් ප්‍රමාණවත් නොවූවත් ,ලෝක මවුවරුන්ගේ දීනය වු අද දවසේ මෙහොතක් බලා සිටින්න ඔබේ අම්මා දිහා...ඒ ඇසින් පමණක් නෙමේ,හදවතිනුත්.


සිතන්න මේ මහා දිරිය ගැහැණිය නෙසිටින්න අද මම කොතැනද?


ඒබැවින් සළකන්න තමන්ගේ මවට තමාට පුළුවන් උපරිමයෙන්..











ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ...
‍ඔබ මතු බුදුවන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවන පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුළැගිල්ලේ එල්ලී...

සඳ දිය කොට කිරිවතුරෙන්
ඒ දියරෙන් මුව දෝවා
දිව මතුරක්වන් නැලැවිලි ගීයෙන්
මතකයි මා නැලැවූවා...
ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී
ඒ ජීවිතයට කිරි දී පණ දී
මා දැඩි කල අම්මා...

ආද‍රයේ උල්පත වූ...//

තුරුලට ගෙන අත් පා හැඩ ගස්වා
නිදි ගන්වා යහන් ගැබේ
සිහිනෙන් ගෑ සුවඳක් මෙන්
සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ
දවසින් දවසට සෙනෙහස ලබැදී
ගෙන දී දිවියට නව පන ලැබදී
මා දැඩි කල අම්මා...

ආදරයේ උල්පත වූ...//









Monday, April 22, 2013

ලෝක මිහිතල දිනය අදයි....

ලෝක මිහිතල දිනය අදයි.සෑම වසරකම අප්‍රේල් 22 මිහිකත දිනය සමරනු ලබනවා.මිනිසාගේ විවිධ ක්‍රියාකාරකම් නිසා දිනෙන් දින විනාශ වන මිහිතලය පිළිබඳ අගනා ප්‍රකාශයක් 1854 දී එක්සත් ජනපද වොෂින්ටන් නගරයේ ආණ්ඩුකාරයා රතු ඉන්දියානු ජාතිකයන් විසින් තම සියලුම ඉඩම් විකුණා දැමිය යුතු යයි කරන ලද නිවේදනය පිළිබඳ රතු ඉන්දියානු නායක සියැටල් පරිසර සංරක්ෂණය හා කළමනාකරණය වාර්තාව ගැන කළ ප්‍රකාශයේ සඳහන්.

පහත දැක්වෙන්නේ එයයි.එය ආදර්ශයට ගෙන අනාගතය වෙනුවෙන් මිහිතලය සුරකිමු.

“වොෂින්ටන් නුවර ඉන්න මහ ලොක්කා අපේ ඉඩම් මිලයට ගන්න සතුටුයි කියල දන්නල එවල තියෙනව. ඒක බොහොම කරුණාවන්ත ක්‍රියාවක්. මන්දැයි ,අපේ යාළුකමෙන් උන්නැහේට වැඩක් නැති එක අප දන්න නිසා. ඒ වුණත් අපි ඔබේ යෝජනාව ගැන සලකා බලනවා. මොකද අපි අපේ ඉඩම් විකුණන්නෙ නැත්නම් , සුදු මිනිහ තුවක්කු අරගෙන ඇවිත් අපේ ඉඩම් ගන්න බව අපි දන්නවා.
අහස මහ පොළොවෙ උණුසුම මිලයට ගන්නෙවත් විකුණන්නෙවත් කොහොමද ? ඒක අපට නුහුරු අදහසක්. වාතයේ තියෙන නැවුම් ගතියත් ජලයෙ තියෙන දිදුලන ගතියත් අපට අයිති දේ නොවේ නම් ඒවා කොහොමද මිලයට තන්නෙ.
මේ මහ පොළොවෙ හැම කොටසක්ම මගේ ජනතාවට අති පාරිශුද්ධයි. මගේ ජනතාව හැම දිලිහෙන පයින්කූරක්ම, හැම වැලි වෙරලක්ම, අන්ධකාර වනාන්තරයේ හැම මීදුම් පටලයක්ම, හැම එලිමහනක් රූං රූං ගාගෙන එන හැම මැසි මදුරුවෙක්ම සිහිපත් කරන්නේ, අත්දැක තියෙන්නෙ අති පාරිශුද්ධ හැටියටයි. ගස් පුරා ගලා යන යුෂ මගින් ගෙනියන්නේ රතු මිනිහාගේ මතක සටහන්ය . සුදු මිනිහගෙ මළවුන් තරු අතර හැසිරෙන්න ගියාම උන්ට උන්ගෙ උපන් බිම අමතක වෙනව. මේ ලස්සන පොළොවෙ රතු මිනිහගෙ මාතාව නිසා අපේ මළවුන්ට ඒ පොළොව අමතක වෙන්නෙ නැහැ අපි පොළොවෙ කොටසක්. පොළොව අපේ කොටසක්. සුවද කැවුණු මල් අපේ සහෝදරියෝ. ගල්කුළු, තණ බිමේ යුෂ , අශ්ව නාම්බගේ ඇගේ උණුසුම, මිනිහ කෝකත් එකම පවුලටයි අයිති.

ඉතින් වොෂින්ටන් නුවර ඉන්න මහ ලොක්කා අපේ ඉඩම් මිලයට ගන්න කැමැත්තෙන් ඉන්නවයි කියල කියනකොට අපෙන් ඉල්ලන්නෙ දෙන්ඩ බැරි දෙයක්. මහ ලොක්කා දන්නල එවල තියෙනවා අපට සුව පහසු ඇතුව ජීවත් වෙන්න අපට වෙන් කරපු තැනක් දෙනවයි කියල. උන්නැහෙ අපට තාත්තෙක් වෙනවලු. අපි උන්නැහේගේ දරුවො වෙනවලු. ඒ හින්ද අපේ ඉඩම් මිලයට ගන්න කරපු යෝජනාව අපි සලකා බලමු. හැබැයි ලේසි පාසු වැඩක් වෙන්නෙ නැහැ. මොකෝ මේ භූමිය අපට ශුද්ධ භූමියක්.

ඇළ දොළ, ගංගාවල ගලා බහින ජලය නිකම්ම වතුර නෙමේ. අපේ මුතුන් මිත්තන්ගේ ලේ. අපි තමුන්නාන්සෙට ඉඩම් වික්කොත් ඒ ඉඩම් අති පාරිශුද්ධ කියන එක තමුන්නාන්සේ මතක තියා ගන්න ඕනෑ. ඒ වගේම තමුන්නාන්සේගේ දරුවන්ටත් උගන්නල දෙන්ඩ ඕනෑ ඒවා පාරිශුද්ධ බව. පැහැදිලි ජලයේ පිළිඹිඹු වී පෙනෙන හැම ඡායාවකින්ම කියාපාන්නෙ මගේ ජනතාවගේ ජීවිතයේ ඒ ඒ සිද්ධි හා මතක සටහන් බව. ජලය මුහුණන කොට ඇහෙන්නෙ මගේ අප්පච්චිගේත් අප්පච්චිගෙ කටහඩයි. . ගංගා අපේ සහෝදරයෝ. අපේ පිපාසය නිවන්නෙ ගංගා. ගංගා තමයි අපේ ඔරු ගෙනියන්නෙ. අපේ දරුවන්ට කන්න දෙන්නෙ අපි අපේ ඉඩම් තමුන්නාන්සෙට වික්කොත් තමුන්නාන්සෙ මතක තියාගන්ඩ ඕනෑ. ඒ වගේම තමුන්නාන්සෙගෙ දූදරුවන්ටත් උගන්නා  දෙන්ඩ ඕනෑ ගංගා අපෙත් තමුන්නාන්සෙලාගේත් සහෝදරයෝයි කියන එක එතැන් පටන් සහෝදරයකුට දක්වන කරුණාව ගංගාවලට දක්වන්න  ඕනෑ.


උදා හිරු ළගා වෙනකොට මීදුම පසු බහින විදියට රතු මිනිහත් හැම විටම සුදු මිනිහා ඉදිරියේ පසුබැස්සා. ඒත් අපේ මුතුන්මිත්තන්ගේ අළු අපට පාරිශුද්ධයි. ඒ ගොල්ලන්ගෙ සොහොන් ශුද්ධ භූමි. ඒ නිසා මේ කදු , මේ ගස් , මහ පොළොවේ මේ බිම් කොටස අපට කැප කෙරුණු දේ.

අපේ ගති පැවතුම් සුදු මිනිහා රාත්‍රියේ ඇවිත් තමන්ට ඕනෑ දේ පොළොවෙන් ලබා ගන්න ආගන්තුකයෙක් නිසා ඒ මිනිහට කොයි භූමියත් එකයි. පොළොව එයාගෙ සහෝදරයෙක් නෙමේ. සතුරෙක් එක තැනක ජයගත්තායින් පස්සෙ තවත් තැනකට යනව. එයා යන්නෙ එයාගෙ මුතුන් මිත්තන්ගෙ සොහොන් අත්හැර දමල. කිසිම කැක්කුමක් නැතුව එයා එයාගෙ දරුවන්ගෙන් පොළොව පැහැරගෙන යනව. එයා එයාගෙ මුතුන් මිත්තන්ගෙ සොහොන්, දරු මුණුබුරන්ගෙ ජන්ම උරුම අමතක කර දානව. එයා එයාගෙ මෑණියන් වහන්සේ වන මහපොළොවත් එයාගෙ සහෝදරයා වන ආකාසයත් සලකන්නෙ බැටළුවන් වගේ, එහෙමත් නැත්නම් දිලිහෙන පබළු වගේ සල්ලිවලට ගන්ඩත්, පැහැර ගන්ඩත්, විකුණන්ඩත් පුළුවන් දේ හැටියටයි. ඒ කෑදරකම මහපොළොව ගිලගෙන කාන්තාරයක් ඉතුරු කර දේවි. සරසර හඩ මම දන්නෙ නැහැ ,අපේ ගති සිරිත් තමුන්නාන්සේලා ගේ සිරිත්වලට වඩාවෙනස්. තමුන්නාන්සේලාගේ නගර දැක්ම රතු මිනිස්සුන්ගෙ ඇස්වලට කදුළු එනවා. සමහර විට රතු මිනිහා මිලේච්ඡයෙක් නිසා ඔය දේ නොතේරෙන නිසා වෙන්ඩ ඇති. සුදු මිනිහගෙ නගරවලට නිස්කලංක තැනක් නැහැ වසන්ත කාලෙ ගස්වල කොළ දිග ඇරෙන සද්දෙට පොඩි පොඩි සතුන්ගෙ සර සර සද්දෙට කන්දීගෙන ඉන්ඩ තැනක් නැහැ. මට මේක නොතේරෙන්නෙ සමහර විට, මම මිලේච්ඡයෙක් නිසා වෙන්ඩැති. ගෝසාව මට දැනෙන්නෙ කන් දෙකට නිග්‍රහ කරන්නා වගේ.

උලලේනියගේ වැළසුම් හඩක්වත්, විල වටා නැගෙන ගෙම්බන්ගෙ වාද විවාද වලටත් රෑ කාලෙ ඇහුම්කන් දෙන්ඩ බැරි මිනිහගෙ ජීවිතයෙන් ඇති පලේ මොකක්ද? මම රතු මිනිහෙක්, මට තේරෙන්නෙ නැහැ. විල් ජලය පිසගෙන හමන සුළගේ නාදෙටත්, දහවල් වැස්සෙන් පිරිසිදු වුණු එසේත් නැත්නම්, පයිනොන් පයින් සුවදින් සුවදවත් වුණු ඒ සුළගේ සුවදටත් රතු ඉන්දියානු මිනිහා ප්‍රිය කරනව. රතු මිනිහට වාතය බොහොම වටිනව මන්දැයි කීවොත්, හැමදෙයක්ම ගහකොල, වන මෘඝ, මනුෂ්‍ය හැමෝම හුස්ම ගන්නෙ එකම වාතය ගැන සුදු මිනිහට දැනුමක් වත් නැතුවා වගෙයි. දවස් ගණනක් තිස්සේ පණ අදින මිනිහෙක් වගේ එයාට ගද සුවද දැනෙන්නෙ නැහැ.

හැබැයි අපි අපේ ඉඩම් තමුන්නාන්සෙට වික්කොත්, වාතය අපි බොහොම අගේ කරන දෙයක් බවත්, ඒකෙන් පණ රැක දෙන හැම දෙයක් එක්කම ඒ ජීව වායුව බෙදාගෙන තියෙන බවත් අමතක නොකරන්ඩ ඕනෑ. අපේ මුත්තාට මුලින්ම හුස්ම දුන්න සුලග තමයි උන්දෑගෙ අන්තිම හුස්ම භාර ගන්නෙත්. අපේ දරුවන්ටත් ඒ ජීව වායුව සුළගෙන් ලැබෙන්ඩ ඕනෙ. ඒ වගේම, අපේ ඉඩම් තමුන්නාන්සේට අපි වික්කොත්, ඒව වෙන් කරල ශුද්ධ භූමි හැටියට, තණ බිමේ මල් වලින් සුවද වුණු පවන් සුවද විදින්නට සුදු මිනිහටත් ගිය හැකි තැන් හැටියට, තියාගන්ඩ ඕනෑ.

ඉතින් අපේ ඉඩම් මිලයට ගන්ඩ කරපු ඉල්ලීම අපි සලකල බලන්නම් ඒ ඉල්ලීම පිළිගන්ඩ අප තීරණය කළොත්, එක කොන්දේසියක් පනවන්ඩ තියෙනවා. සුදු මිනිහා මේ භූමියේ ඉන්න සත්තු තමන්ගේ සහෝදරයෝ හැටියට සලකන්ඩ ඕනෑ මම මිලේච්ඡයෙක් ඒ නිසා, මට ඕක වෙන විදියකට තේරෙන්නෙ නැහැ. කෝච්චියක යන ගමන් සුදු මිනිහ වෙඩි තියල මරලාදාපු දහස් ගණන් මීමුන්ගේ කුණු වුණු මළ සිරුරු මම තණබිම්වල දැකල තියෙනවා. අපට ජීවත් වෙන්ඩ වුවමනා නිසාම විතරක් අපි මරණ මීමුන්ට වැඩියෙ ඔය දුම්දාන යකඩ අශ්වයා වැදගත් වෙන්නෙ කොහොමද කියන එක මිලේච්ඡ මට නම් තේරෙන්නෙ නැහැ. අපි අපේ දරුවන්ට ඉගැන්නුවා වගේ තමුන්නාන්සේලා තමුන්නාන්සේලාගේ දරුවන්ට උගන්නන්ඩ ඕනෑ. පොළොව අපේ මෑණියන් වහන්සේ බව. පොළොවට යමක් සිද්ධ වුණොත් පොළොවේ පුතුන්ටත් ඒකම සිද්ධ වෙනව. පොළොවට කෙළ ගහන මිනිස්සු තමන්ටමයි කෙළ ගහ ගන්නෙ. මේ දේ අපි දන්නව. පොළොව මිනිහට අයිති නැහැ. මිනිහ පොළොවට අයිතියි. මේක අපි දන්නව. හැමදෙයක්ම එකිනෙකට සම්බන්ධයි. හරියට ලේ බැම්මෙන් බැදුණු පවුලක් වගේ හැමදෙයක්ම එකිනෙකට සම්බන්ධයි. පොළොවට යමක් වුණොත් පොළොවෙ පුතුන්ටත් ඒකම වෙනව. ජීවිතයයි කියන දැල විව්වෙ මිනිහ නෙමේ. මිනිහ ඒ දැලේ එක නූල් පටක් විතරයි. මිනිහ දැලට කරන දේ තමාටම කර ගන්න දෙයක්. අයිතිය ඒ කොහොම වුණත් මගේ ජනතාවට තමුන්නාන්සේ වෙන් කර තියෙනවයි කියන වාස භූමියට යන්ඩ කියල කරන ඉල්ලීම අපි සලකා බලනව. අපි වෙන්වී සාමයෙන් ජීවත් වෙන්නම්. අපේ ඉතිරි කාලෙ කොහේ ගත කෙරුවත් වෙනසක් නැහැ. තමන්ගෙ අප්පච්චිල පරාජයෙන් දණ ඇණ හිටි විදිහ අපේ දරුවො දැකල තියෙනවා අපේ රණසූරයෝ ලජ්ජා විදල තියෙනව. පැරදුනායින් පස්සෙ, දැන් ඒ උදවිය දවස් ගෙවන්නෙ කාලෙ කකා , රස කෑම වලිනුත් සැර බීමවලිනුත් ශරීර බාල්දු කරගෙන. අපේ ඉතුරු දවස් ටික කොහේ ගත කෙරුවත් දැන් කාරියක් නැහැ. ඒක ඒ තරම් කාලෙකුත් නෙමේ. තව පැය කීපයක්, හේමන්ත ඍතු කිහිපයක් ගත වේවි. ඊට පස්සෙ, තමුන්නාන්සේලා වගේම බලවත් තමුන්නාන්සේලාට වගේම බලාපොරොත්තු තිබුණු ජනතාවකගේ සොහොන් මත වැළපෙන්ඩ මේ පොළොව කලක් සැරිසැරූ ඒ මහා ගෝත්‍රවල දරුවෝ, අදත් තවම වන රොදවල සැරිසරන පොඩිපොඩි කණ්ඩායම් වල දරුවෝ කිසිකෙනෙක් නොඉදීවි. එක දෙයක් අපි දන්නව. කවද හරි සුදු මිනිහට ඒක හෙලි කරගන්ඩ ලැබේවි. අපේ දෙවියන්වහන්සේත් ඒ දෙවියන්වහන්සේමයි. අපේ ඉඩකඩම් අයිති කරගන්ඩ දැන් කැමැත්තක් දක්වනව වගේම ඒ දෙවියන් වහන්සේත් තමුන්නාන්සේලාට අයිති කියල දැන් හිතෙනවඇති. නමුත් ඒක කරන්ඩ ලැබෙන්නෙ නැහැ උන්වහන්සේ මනුෂ්‍ය වර්ගයාගේ දෙවියන් වහන්සේයි. උන්වහන්සේගේ කරුණාව රතු මිනිහාටත් සුදු මිනිහටත් එක වගෙයි.

(උපුටා ගැනීම - විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්)


Monday, April 8, 2013

1971අපේ‍්‍රල් අරගලය පිළිබඳ ප්‍රමාද වූ කියවීමක්.....

1971අපේ‍්‍රල් අරගලයට මේ මස 5වැනිදාට වසර 42ක් සපිරේ. අප අපේ‍්‍රල් අරගලය ගැන ලියන්නේ නැවත වරක් අපේ‍්‍රල් 5වැනිදාවක් අප ඉදිරියට පැමිණ සිටින නිසා නොවේ. මෙය කැලැන්ඩර් දේශපාලනයේ එන මඟ හැරිය නොහැකි වතාවතක්, යාතුකර්මයක් නිසා නොවේ.
 1971අපේ‍්‍රල් අරගලය ඉතිහාසයට පාඩම් රැසක් කියා දුන් මහා විශ්වකෝෂයක් වන හෙයිනි. 1905රුසියානු විප්ලවය පරාජයට පත් වුවත් ලෙනින් එය හැඳින්වූයේ ‘ශ්‍රේෂ්ඨ පරාජය’ ලෙසිනි. සමාජවාදය ගැනත් වැඩපිළිවෙළ හා උපක‍්‍රම ගැනත් පවතින අදහස් සහ සිහින, පොදු ජනතාවගේ ක‍්‍රියාකාරීත්වය හා අරගලය තුළ පරීක්ෂණයට භාජනය කෙරෙන මෙබඳු මොහොතවල් නිසැකවම ඉතිහාසයේ මහා විශ්වකෝෂයන්ය. ලෙනින් පවසන්නේ විප්ලවීය අරගලවල කාලපරිච්ඡේදයේ එක් මාසයක් වුව සාමාන්‍ය කාලවල දී වසරක කාලයකට වඩා පාඩම් උගන්වන බවයි.

‘‘දේශපාලන විද්‍යාවේ මූලධර්මයන් ගැන උගැන්වීම හා සම්බන්ධයෙන් වූ කල පොදු ජනතාවට හා නායකයන්ට ද පන්තිවලට හා පක්ෂවලට ද යන මේ සියල්ලන්ටම එක සේම, මෙම කාලපරිච්ෙඡ්දයේ එක් මාසයක් ‘සාමකාමී’ හා ‘ව්‍යවස්ථානුකූල’ සංවර්ධනයේ මුළු අවුරුද්දකටම සමාන වූයේය. 1905වර්ෂයේ මෙම ‘පුරුදු වීම’ නොමැති වූයේ නම්, 1917ඔක්තෝබර් විප්ලවයේ ජයග‍්‍රහණය කිසිසේත් නොලැබෙන්නට තිබිණි.’’
‘‘විප්ලවවාදී පක්ෂවලට හා විප්ලවවාදී පන්තියට නියම හා ඉතා ප‍්‍රයෝජනවත් පාඩමක්, ඉතිහාසයේ දයලෙක්තික ක‍්‍රමය ගැන පාඩමක්, දේශපාලන අරගලය වටහා ගැනීම හා අරගලය කිරීමේ කලාව හා විද්‍යාව ගැන පාඩමක් උගන්වන ලද්දේ මෙම ශ්‍රේෂ්ඨ පරාජය විසිනි.’’
(ලෙනින්තෝරාගත් කෘතිවෙළුම 6, පිටු 137/138)

1971අරගලය මෙතෙක් කල් කියවනු ලැබුවේ එක්කෝ ‘කඩාකප්පල්කාරීත්වය’, ‘ත‍්‍රස්තවාදය’, ‘සුළු ධනේශ්වර උමතුව’, ‘තරුණ අසහනය’ ආදී වචනවලින් අලංකෘත කර අපහාසාත්මක දෘෂ්ටි කෝණයකින් නිෂේධනාත්මක අදහසකිනි. එසේත් නැතිනම් වීරත්වය, කැප කිරීම හා පරිත්‍යාගයන් පිළිබඳ උදාහරණ සහිතව තරමක් අනුරාගික දෘෂ්ටිකෝණයකිනි. පළමු වැන්න අරගලයේ සියලූ සාධනීය අත්දැකීම් හා ආදර්ශයන් බැහැර කරන අතර දෙවැන්න අරගලයේ අඩු පාඩු හඳුනා ගැනීමට බාධා කරයි. විසිදහසකගේ පමණ ජීවිත අහිමි කළ, තවත් දසදහස් ගණනක් සිර කඳවුරු තුළ ගාල් කරන ලද අරගලයේ පරාජය ‘ශ්‍රේෂ්ඨ පරාජයක්’ ලෙස අප අර්ථ දක්වන්නේ නම් එම ශ්‍රේෂ්ඨ පරාජය පිළිබඳව ඉතිහාසයට පාඩම්උගත හැක්කේ එම අන්ත දෙකම බැහැර කර, නිවැරැදි දේශපාලන කියවීමක් සිදු කර ගැනීමෙනි. එම දේශපාලන කියවීම දැනටමත් වසර 42ක් ප‍්‍රමාද වී ඇත. නමුදු ප‍්‍රමාද වී හෝ එම ශ්‍රේෂ්ඨ පරාජය පිළිබඳව කියවීමක් කළ යුතුය. මන්දයත් අනාගත ජයග‍්‍රහණයන් රඳාපවතින්නේ අතීතයේ පාඩම්
නිවැරැදිව හා නිරවුල්ව උකහා ගතහොත් පමණි. 1917ජයග‍්‍රහණය දක්නට හැකි වූයේ 1905පරාජයේ අධ්‍යාපනය නිසා යැයි ලෙනින් පවසන්නේ එහෙයිනි.

1971අරගලය වැනි ඉතිහාසමය සංසිද්ධියක් පිළිබඳව මෙවැනි කෙටි ලිපියකින් සමාලෝචනයක් සිදු කර ගැනීම පහසු නොවේ. එය අතිශය සංකීර්ණ කටයුත්තකි. නමුත් කෙටියෙන් හෝ අත්‍යවශ්‍ය කරුණු පිළිබඳව දළ සංවාදයක් කරගත යුතුව තිබේ. සමාජවාදය පිළිබඳව එතෙක් කල් ලංකාවේ තිබුණේ සිහිනයක් හා න්‍යායික සංවාදයකි. අදහසකි. 71අරගලය සමාජවාදී විප්ලවය සමාජයීය අත්දැකීමක් බවට පත් කළේය. ලංකාව තුළ රාජ්‍යය ස්ථාපිත වී වසර දෙදහස් පන්සියයක් පමණ ගෙවී ගොස් තිබුණ ද කෙදිනකවත් රාජ්‍යය විරහිත සමාජයක් බිහි කිරීමේ අදිටනින් අරගලයක් පැනනැඟී නොතිබිණි. එම ඉතිහාසය තුළ බොහෝ කැරැලි ගසා නැඟිටීම් තිබුණ ද ඒ සියල්ල එක් පාලකයකු වෙනුවට තවත් පාලකයකු කැඳවන, එක් රජකු වෙනුවට තවත් රජකුට ඔටුනු පලඳවන ‘මාලිගාවේ කුමන්ත‍්‍රණ’ සමඟ බැඳුණු අරගල විය. 71අරගලය ඊට වෙනස්ව පීඩිත ජනතාවට රාජ්‍ය බලය හිමි කරදීම වෙනුවෙන් පැනනැඟුණු ප‍්‍රථම ජනතා අරගලයයි. ලෝක කොමියුනිස්ට් ව්‍යාපාරයට 1871පැරිස් කොමියුනය විසින් එකතු කර දුන් අත්දැකීම් සම්භාරයට කිසිසේත් අඩු නොවන පාඩම් සමූහයක් ඊට සියවසකට පසු පැනනැඟුණු 1971අරගලය ලංකාවේ වමේ ව්‍යාපාරයට එක් කළේය.

1971අරගලයේ සටන්කරුවන් කඩා වැටෙන ධනවාදයටත් රදල වලව්වල පසුගාමීත්වයටත් පිළිතුරු සෙව්වේ එක් පාර්ශ්වයක් වෙනුවට තවත් පාර්ශ්වයක් සමඟ සම්මුතිවලට එළඹීමෙන් නොවේ. ඇති එකම පිළිතුර සමාජවාදය බවත් කුමන මිලක් ගෙවා හෝ එය අත්පත් කරගත යුතු බවත් ඔවුහු කල්පනා කළහ. ඒ නිසා එතෙක් වමේ ව්‍යාපාරය වසා පිළිලයක් සේ වැඞී තිබුණු ලිබරල් සම්ප‍්‍රදාය, සභාගවාදය හා සම්මුතිකාමීත්වය ඔවුන් විසින් බැහැර කරන ලදී. කවර අඩු ලූහුඬුකම් තිබුණ ද අරගලයේ ඇති අතිශය සාධනීය අත්දැකීම එයයි. අනෙක් අතට අරගලය සඳහා මඟ පෙන්වූ න්‍යායක් තිබිණි. අරගලය විසින්ම පෙන්වා දුන්නේ ක‍්‍රමික වර්ධනය වෙනුවට තත්වයන් වර්ධනය වීම තුළ විප්ලවීය වෙනස්කම් හරහා ඉතිහාසය ඉදිරියට යන බව ඔවුන් විශ්වාස කළ බවයි. එහිදී ඔවුන් තත්වයන් වෙනස් කිරීම පිළිබඳ නියතිවාදයකට වැටුණේ නැත. ඔවුන් විශ්වාසය තැබුවේ මිනිස් මැදිහත් වීම පිළිබඳවය. ධෛර්යසම්පන්න මිනිසුන්ගේ මැදිහත් වීම හරහා සමාජය වෙනස් කිරීම පිළිබඳ ඔවුන්ගේ විශ්වාසය අදත් නියතිවාදීන්ගේ මනෝරාජික සිහින ඉදිරියේ දිදුලන ආලෝකයකි. එංගල්ස් සොබාදහමේ දයලෙක්තිකය පොතේ පවසන ආකාරයට සතුන් ඉතිහාසයට සම්බන්ධ වන අතර මිනිසා ඉතිහාසය නිර්මාණය කරයි. දැන් ධනවාදය මිනිස් සංහතියට බාර දී තිබෙන්නේ ඉතිහාසයට නිරීක්ෂකයන් ලෙස, අවිඥානික අතකොලූ ලෙස සහභාගි වීමේ සතාගේ භූමිකාවයි. අපේ භූමිකාව එය නොව, ඉතිහාසය වෙනස් කිරීමේ සවිඥානික මිනිස් භූමිකාවක් බව 1971අත්දැකීම අපට පෙන්වා දුන්නේ දැවැන්ත මිලක් ද ගෙවමිනි.
1971අරගලයේ විශේෂතම ලක්ෂණය වනුයේ රාජ්‍ය බලය පිළිබඳ ප‍්‍රශ්නය විප්ලවයේ මූලික ප‍්‍රශ්නය ලෙස ගැනීමයි. අරගලයේ ඉලක්කය වූයේ රාජ්‍යයට පහරදීමයි. පන්තියට රාජ්‍ය බලය අත්පත් කරගැනීමයි. රාජ්‍යයට පහර දීම, පොලිස් ස්ථානවලට පහරදීම දක්වා ලඝු වීම පිළිබඳ විවේචනය තිබිය දී වුව රාජ්‍ය බලය පිළිබඳ ප‍්‍රශ්නය අංක එකේ ප‍්‍රශ්නය බවට පත් කරගත් එම පරම්පරාව පිළිබඳ වඩාත් ගැඹුරු කියවීමක් සිදු කරගත යුතුය. අනෙක් අතට ඔවුහු විප්ලවය යනු සමාජ ව්‍යුහයන්, පාලන තන්ත‍්‍ර හා රාජ්‍ය ආයතන පරිවර්තනය කිරීමක් පමණක් නොව සමාජ ඇගයුම් පද්ධති, සමාජ සබඳතා, චින්තනය හා ආකල්ප ලෙස මිනිසාව ද පරිවර්තනය කර ගැනීමේ ව්‍යවහාරයක් ලෙස වටහා ගෙන සිටියහ. මුට්ට කර ගසා පක්ෂ අරමුදල් තර කිරීම, පූර්ණකාලීන විප්ලවවාදියාගේ ආදර්ශය, අරගලයේ දී රකින ලද ආචාර ධර්මයන් ආදී සියල්ල අපට පෙන්වා දෙන්නේ වෙනස් විප්ලවීය ව්‍යවහාරයක් කෙරෙහි ඔවුන්ට තිබූ බැඳීමයි. එය අනාගත විප්ලවීය ක‍්‍රියාකාරීත්වයන් කෙරෙහි පිරිනැමෙන අංග සම්පූර්ණ දායාදයක් නොවූවත් එහි වර්ධනය කරගත යුතු බොහෝ අංග තිබුණත් එය අනගිතම දායාදයක් බවට විවාදයක් නැත.

අපේ‍්‍රල් අරගලය එහි ආසන්නතම හේතුව ලෙස ධනපති ආණ්ඩුවේ මර්දනයට මුහුණ දීම තුළ පමණක් සංයුක්ත ගත කළ නොහැක. ඒ තුළ ලංකාවේ සමාජවාදය ගොඩනැඟීම පිළිබඳ අපේක්ෂාවක් ද තිබිණි. නමුත් ඒ සඳහා එම අරගලය තුළ තිබූ අරගල මාදිලිය විචාරයට බඳුන් කළ යුතුය. පුළුල් පොදු ජනතා ක‍්‍රියාකාරීත්වයකින් තොරව, බහුජන ව්‍යාපාරයක සහභාගීත්වයෙන් තොරව, කුඩා කණ්ඩායමක් රහසිගතව කරන අවි ගත් නැඟිටීමක් හරහා රාජ්‍ය බලය අත්පත් කරගැනීමේ මාදිලියක් ඒ තුළ අඩංගුව තිබිණි. ඇතැම් විට එයට කියුබානු විප්ලවයේ අත්දැකීම ඇතුළු ජාත්‍යන්තර අත්දැකීම් ද බලපාන්නට ඇත. කෙසේ වෙතත් විප්ලවීය නැඟිටීමක් සඳහා අවශ්‍ය පූර්ව තත්වයන් ගොඩනැඟී නොතිබූ තත්වයක් තුළ, පන්තිය තුළ ගැඹුරු සක‍්‍රීයභාවයක් අවුළුවාලීමේ වැඩපිළිවෙළක් ද නැතිව ක්ෂණික පහරදීමකට යාමේ පරාජයේ අත්දැකීම අප හොඳින්ම උකහා ගත යුතුය. ඒ වන විටත් සංවිධිත පක්ෂයක් ගොඩනැඟී නොතිබීමත් ව්‍යාපාරය පවා ඉතාම  ළදරු අවස්ථාවේ පැවතීමත් සංවිධානය තුළ පැනනැඟුණු කණ්ඩායම්වාදය ඇතුළු දුබලතාත් ඒ සියලූ අවාසිසහගත තත්වයන් තුළ ධනේශ්වර මර්දනය කෲර ලෙස කඩා පැනීමත් විසින් එවැනි පහරදීමක් උත්තේජනය කළ බව අපට පිළිගත හැකිනම් එහි දේශපාලන වරද ස්වයං විවේචනාත්මකව දැකිය යුතුය.
ක්ෂණික පහරදීමක් හරහා රාජ්‍ය බලය ඉලක්ක කරනු ලබන අරගලයක දී වුව එය පොලිස් ස්ථානවලට පහරදීම දක්වා පටු වීම යම් ආකාරයක ළාමක ස්වභාවයක් පෙන්නුම් කරයි. එමෙන්ම එය දේශපාලන අපරිණතභාවයක ලක්ෂණ පිළිබඳ නිදසුන් සපයයි. ඔවුන් ඒ මුහුණ දුන්නේ සුළු ධනේශ්වර අතිධාවනකාරීත්වයකටය. එසේ සිදුවීම ව්‍යාපාරය වැඩිපුර සුළු ධනේශ්වර තීරුවලට මැදිහත් වීමේ තාර්කික ප‍්‍රතිඵලයකි. එහෙත් 71පරම්පරාව සුළු ධනේශ්වර සමාජ තීරුවලට මැදිහත් වූයේ එහි පසුකාලීන අනුප‍්‍රාප්තිකයන් මෙන් සුළු ධනේ්ශ්වර අභිලාෂයන් වෙනුවෙන් ධනපතියන් සමඟ සම්මුති ගැහීමේ අරමුණෙන් නොවන බව, එම පරම්පරාවට සාධාරණය ඉටු කිරීම පිණිස ලියා තැබිය යුතුය. මේ සියලූ අසම්පූර්ණතා අරගලයේ පරාජයට බලපෑ අතරම, ඒ සියලූ අඩු ලූහුඬුකම් අනාගත අරගලයන්ගේ පරිපූර්ණත්වය උදෙසා ආලෝකයක් එල්ල කරයි.
මෙවැනි කෙටි ලිපියකින් සම්පූර්ණ කළ නොහැකි තරමට 71අරගලයේ සමාලෝචනය ගැඹුරුය. අරගලයෙන් වසර 42ක් ඉක්ම ගිය වත්මන් මොහොතේදීවත් ඒ ගැඹුරු සමාලෝචනය කරගත යුතුව තිබේ. ඒ 71පරම්පරාවේ අරගලය පරාජයට පත් වුවත් එය මේ ම්ලේච්ඡුත්වයට එරෙහිව හා විනාශකාරීත්වයට එරෙහිව, මනුෂ්‍යත්වය අත්පත් කරගැනීම සඳහා සමාජයට ඇති අනුරාගය වෙනුවෙන් මාර්ගෝපදේශන සකස් කරන බැවිනි. අගති විරහිතව  හා පටු පාර්ශ්වීයත්වයෙන් තොරව 1971අපේ‍්‍රල් ශ්‍රේෂ්ඨ පරාජය පිළිබඳව පුළුල් දේශපාලන කියවීමක් අවශ්‍ය වන්නේ එබැවිනි. මෙවර අපේ‍්‍රල් සමරුව ඒ සඳහා වන මූලාරම්භයක් කර ගත යුතුය. එය හුදු සමරුවකින් ඔබ්බට වර්ධනය කරගත යුතුය.

 
චමීර කොස්වත්ත
පෙරටුගාමී සමාජවාදී පක්ෂය
(උපුටා ගැනීම ජනරළ පුවත් පත)